Time & Date in Sri Lanka

Tuesday, June 28, 2011

නව පොලිස්පති හෙට කැබිනට්ටුවට

නව පොලිස්පතිවරයා මේ වනවිට නම් කර ඇති බවත්, ඔහුගේ නම හෙට(29) දින කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම චැනල් 4 නාලිකාව මගින් ප්‍රචාරය කරන ලද වාර්තා චිත්‍රපටය පිළිබඳව ඉදිරියේදී අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

අද(28)අරලියගහ මන්දිරයේ මාධ්‍ය ප්‍රධානීන් හමුවී කරනු ලබන මාසික සාකච්ඡාවේදී ඔහු මේ බව කියා සිටියේය.

Sunday, June 26, 2011

දුම්රිය මාර්ග ඉන්දියාවට කොන්ත්‍රාත් දීමෙන් පාඩුව කිලෝමීටරයකට ඩොලර් ලක්ෂ 15යි - ටිල්වින් සිල්වා


ලංකාවේ දුම්රිය මාර්ග ඉදි කිරීම ඉන්දියාවට කොන්ත්‍රාත් දීම නිසා අති විශාල පාඩුවක් සිදු වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා‍ පෙන්වා දුන්නේ කන්කසන්තුරේ සිට ඕමන්ත දක්වා කිලෝමීටර් 149ක දුම්රිය මාර්ගයත් ‍තලෛමන්නාරම සිට මැදවච්චිය දක්වා කිලෝමීටර් 106 දුම්රිය මාර්ගයත් ඉදිකිරීම එක් කිලෝමීටරයක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 20 බැගින් ඉන්දියාවට දීම නිසා එක් කිලෝමීටයකින් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 15ක පාඩුවක් සිදු වන බවයි. මෙම කොන්ත්‍රාත් ඉන්දියාවට දීමට සිදුව තිබෙන්නේ 2010 වසරේදී ඉන්දියාවෙන් ඩොලර් මිලියන 800ක ණයක් ගැනීම නිසා බවද ටිල්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේය.
මැයි මස පළමුවැනිදා ආණ්ඩුවේ මැයි දිනයට බස් රථ ලබා දීමෙන් ලංගමට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ 400ක් බවද ඔහු පැවසීය. මෙම නාස්තියේ හා දූෂණයේ බර දැරීමට සිදු වන්නේ ජනතාවට බව පෙන්වා දුන් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා ආණ්ඩුව වහාම බස් ගාස්තු අඩු කර ජනතාවට සහන සැලසිය යුතු බවත් ලංගම හා පෞද්ගලික ප්‍රවාහන සේවයට සහන සැලසිය යුතු බවත් අවධාරණය කළේය.
ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘‘ජූලි මාසේ පළමු වැනිදා සිට බස්ගාස්තු 7.6%කින් වැඩි වෙනවා. පෞද්ගලික අංශයේ බස් ගාස්තු වගේම ලංගම බස් ගාස්තුවත් මේ අනුව වැඩි කරන්න තීරණය කර තිබෙනවා. ජීවත් වෙන්න අමාරුවෙන් ඉන්න ජනතාවට මේ බස් ගාස්තුව අමතර බරක්.
ජනතාවට වගේම බස් සමාගම්වලටත් අමාරු තත්වයක් තිබෙන්නේ. ලංගමට, පෞද්ගලික අංශයට සහන දීලා ජනතාවට බර පැටවෙන්නේ නැති විදියට කටයුතු කිරීම ආණඩුවේ වගකීමක්. නමුත් ආණ්ඩුව ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ අර්බුදයේ බර ජනතාව මත පටවා තිබෙනවා.
1978න් පස්සේ පෞද්ගලික බස් සේවය ඇති කරන කොට එදා ආණ්ඩුව කිව්වේ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ තරගය නිසා බස් ගාස්තු ස්ථාවරව තිබෙනවා, ජනතාවට හොඳ ප‍්‍රවාහන සේවයක් අත් වෙනවා කියලා. නමුත් ඇත්තටම සිද්ධ වෙලා තිබෙන්නේ ලංගම සහ පෞද්ගලික අංශය තරගයට බස් ගාස්තු වැඩි කළ එකයි. මගීන්ට ලැබෙන පහසුකම් අඩු කරනවා.
පෞද්ගලික බස් හිමියන්ගේ ප‍්‍රශ්නයත් සාධාරණයි. පසුගිය කාලයේ ඉන්ධන ගාස්තු වැඩි වුණා, අමතර කොටස්වල මිල ඉහළ ගියා. ගාස්තු වැඩි වුණා. ඒ නිසා ඔවුන්ට කිසියම් සහනයක් අවශ්‍යයි. ඔබට මතක ඇති ආණ්ඩුව පසුගිය මැතිවරණවලදී ප‍්‍රවාහනය සඳහා ඉන්ධන දීමනාවක්, අමතර කොටස් සඳහා සහන, ලිහිසි තෙල් සඳහා සහන දෙන බව කිව්වා. නමුත් ඒ කිසිවක් ලබා දී නැහැ. ඔවුන් මුහුණ දෙන ගැටලූව විසඳුවෙත් නැහැ.
ඒ වගේම මාර්ග බලපත‍්‍ර ලබා දීමේදීත් අවුල් ජාලයක් ඇති කර තිබෙනවා. දේශපාලනඥයින්ගේ හිතවතුන්ට බලපත‍්‍ර දුන්නේ. ලාබ ලබන්න පුළුවන් මාර්ගවලට වැඩියෙන් බලපත‍්‍ර දුන්නා. ඒ නිසා ඒ මාර්ගවල තරගයක් තිබෙනවා. ලාබ අඩු මාර්ගවලට ප‍්‍රමාණවත් තරම් බස් රථ නැහැ. ඒ නිසා විෂමතාවක් තිබෙනවා.
වාහන බලපත‍්‍ර දීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් තිබෙනවා. මගී සංඛ්‍යාව ගැන සමීක්ෂණයක් කරලා, ප‍්‍රමාණවත් තරම් බස් රථ සඳහා බලපත‍්‍ර දෙන්න, කිසියම් පුරප්පාඩුවක් ඇති වුණොත් ඒ පුරප්පාඩුව පිරවීම සඳහා බලපත‍්‍ර දෙන්න කියලා. නමුත් මේ කිසිවක් අනුගමනය කරන්නේ නැතිවයි ආණ්ඩුව කටයුතු කරන්නේ.
යුද්ධයෙන් පස්සේ යාපනය කොළඹ මාර්ගය විවෘත වුණා. ඒ මාර්ගයේ බස් රථ සඳහා ටෙන්ඩර් දෙන්න ආණ්ඩුව තීරණය කළා. නමුත් දුන්නේ බස් හිමියන්ට නොවෙයි ආණ්ඩුවේ හිතවතුන්ට. ඔවුන් ඒ බලපත‍්‍ර රුපියල් ලක්ෂ 50 ගණනේ විකුණුවා. මාසෙකට දළ වශයෙන් රුපියල් ලක්ෂ 4ක්  ඕන වැටුප්, නඩත්තුවලට අමතරව බලපත‍්‍ර සඳහා. මේ තත්වය නිසා ගාස්තු වැඩිවීමක් ඉල්ලන්න ඔවුන්ට සිදු වුණා. ඒ වගේම කප්පම් ගැනීමේ සිදුවීම් වාර්තා වනවා. කප්පම් ගන්නේ ආණ්ඩුවේ හිතවතුන් නිසා ඒක නතර කරන්න මැදිහත් වෙලා නැහැ.
මීට පෙර ලංගමට බස් රථ මිලදී ගත්තේ මහා භාණ්ඩාගාරයෙන්. නමුත් දැන් බස් රථ අරගෙන ලීසිං කරලා ඩිපෝවලට දෙනවා, ලීසිං ගෙවන්න. ඒ විදියට බස් රථ 200 ක් දුන්නා. ඒ නිසා ඩිපෝවලට අමතර බරක්. දැන් සේවකයින්ට වැටුප් ගෙවාගන්න විදියක් නැතිව දවසේ ආදායම එකතු කරලා වැටුප් ගෙවන තත්වයට පත් වෙලා. ඒ වගේම ආණ්ඩුවේ හෙංචයියන් ලංගම තනතුරුවලට දාලා අවුල් ජාලයක් ඇති කරලා.
පසුගිය මැතිවරණවලදී ආණ්ඩුව ලංගම බස් රථ යොදා ගත්තා. ඒ නිසා කෝටි ගණනක් ලංගමට පාඩුයි. පසුගිය මැයි දිනයේදී ආණ්ඩුවේ මැයි දිනයට බස් රථ සැපයීම නිසා එක් දිනක් තුළ ලංගමට සිදු වී තිබෙන පාඩුව රුපියල් ලක්ෂ 400ක්. සාමාන්‍යයෙන් ලංගම බස් රථ දෙන්නේ කිලෝමීටරයකට රුපියල් 65බැගින්. නමුත් ආණ්ඩුව මැයි දිනයට බස් රථ ගත්තේ කිලෝමීටරයට රුපියල් 10ටත් අඩුවෙන්. දැන් බස් රථ සඳහා අමතර කොටස් මිලදී ගන්න රුපියල් මිලියන 180ක් ලංගම සේවකයින්ගේ අර්ථ සාධක අරමුදලෙන් අරගෙන තිබෙනවා.  මේක බරපතළ තත්වයක්.
බස් ගාස්තුවලට අමතරව දුම්රිය ගාස්තු වැඩි වීමේ අවදානමකුත් තිබෙනවා.
ඔබ දන්නවා දුම්රිය මාර්ග නඩත්තුව ඉන්දියාවට දුන්නා. පසුගිය අවුරුද්දේ ජූලි මාසයේ ජනාධිපතිවරයා ඉන්දියාවට ගිහින් ගිවිසුම් 17කට අත්සන් කළා. ඒ වගේම ඉන්දීය අගමැති මන්මෝහන් සිං එක්ක ඒකාබද්ධ ප‍්‍රකාශයකටත් අත්සන් කළා. ඒ සංචාරයේදී ඉන්දියාව ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 800ක ණය මුදලක් දෙන්න එකඟ වුණා. මුදල වෙන් කරන්න පුළුවන් රේල් පාරවල් හදන එකට විතරයි.
පලෙයි සිට කන්කසන්තුරේ දක්වා එක් කිලෝමීටරයක් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක් යනවා කියලා ආණ්ඩුව ඇස්තමේන්තු කළා. නමුත් දැන් ඒ ඇස්තමේන්තු පැත්තක දාලා ඒ මාර්ගයත් හදන්න ඉන්දියාවට දීලා තිබෙනවා. ප‍්‍රශ්නය තමයි මේ දුම්රිය මාර්ග ඉදි කිරීම සඳහා ඉන්දියාවට කොන්ත‍්‍රාත් දීලා තියෙන්නේ එක් කිලෝමීටරයකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 20බැගින්. එක් කිලෝමීටරයකින් ඩොලර් ලක්ෂ 15ක් පාඩුයි. සමස්ත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 223'5ක්. තෙලෙමන්නාරම සිට මැදවච්චිය දක්වා දුම්රිය මාර්ගය ඉන්දියාවට දීම නිසා සිදු වන පාඩුව ඩොලර් මිලියන 159යි. මේ දුම්රිය මාර්ගය රජය හැදුවා නම් ඒ මුදල ඉතිරියි. ඒ මුදලෙන් පුළුවන් ලංගමට සහන දෙන්න, දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩනගන්න.

ඒ නිසා මේ නාස්තිය නතර කරන්න ඕන. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ බස් ගාස්තු පිළිබඳ ප‍්‍රශ්නය බස් රථ හිමියන් සහ ජනතාව අතර ප‍්‍රශ්නයක් බවට පත් කොට ඇඟ බේරා ගන්නයි. අපි කියන්නේ ආණ්ඩුවට එහෙම කරන්න අයිතියක් නැහැ. ඒ නිසා මේ නාස්තිය, දූෂණය නතර කරලා බස් ගාස්තු අඩු කරලා, ලංගමට සහ පෞද්ගලික අංශයේ බස් හිමියන්ට අවශ්‍ය සහන දීලා මේ ප‍්‍රශ්නය ජනතාවට බරක් නොවන විදියට කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමක්.’’
මෙම මාධ්‍ය හමුවට ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාද සහභාගි විය.

නෙහාරා නිර්මාල් ගෙන් වෙන් වෙයි ??


මම එයාගෙන් වෙන්වෙනවා

නෙහාරා.........................
මේනක මගේ හොඳ යාළුවෙක්‌ විතරයි
විවාහයට මුල ඉඳන්ම අපි අතර ප්‍රශ්ණ තිබුණා......................

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියක්‌ සේම, නර්තන ශිල්පිණියක්‌ නිවේදිකාවක්‌ වන නෙහාරා පීරිස්‌ගේ විවාහය දෙදරායැම පිළිබඳව අන්තර්ජාලය ඔස්‌සේ විවිධ පුවත් පසුගිය සතියේ පැතිර ගියා. ඊට සමගාමීව ජනතාව අතරත් ඇයව ඉලක්‌ක කරගනිමින් විsවිධ කට කතා පැතිරුණා. මේ සියල්ල පිළිබඳ සෝදිසියෙන් සිටි අප ඇය ගැන පැතිරී ගිය මෙම විවිධ ආරංචි ගැන නෙහාරාගෙන්ම තොරතුරු විමසීමක්‌ කළා.
ඔබ පිළිබඳ පැතිර යන මෙම කතාවේ සත්‍යතාව මොකක්‌ද ?
වෙඩ් අඩවිවල නොයෙකුත් කතා ඵල වෙනවා. නමුත් ඒ දේවල් සියයට සියයක්‌ම ඇත්ත නෙමෙයි.
මොකක්‌ද ඇත්ත ?
මම දික්‌කසාද වෙන්න අවශ්‍ය නීතිමය පියවර ගෙන තිබෙනවා. ඒක ඇත්ත. නමුත් ඒකට නිවැරදි හේතුව වෙබ් අඩවි ඔස්‌සේ නිවැරදිව ඵලවෙලා නැහැ.
හිටි හැටියේම ඔබ මෙවැනි තීරණයකට ආවේ ?
මම නිර්මාල් එක්‌ක විවාහ වුණේ අවුරුදු දෙකක්‌ ආදරය කරලා. ඒ කාලෙත් අපි දෙන්නා අතර නොයෙකුත් ප්‍රශ්න තිබුණා. එවැනි ප්‍රශ්න නිසා මගේ දෙමාපියන් අපි දෙන්නගෙ විවාහයට මුලදී විරුද්ධ වුණා. එයාලා කිව්වා නොගැලපෙන විවාහයක්‌ කරගන්නවට වඩා ගැලපෙන කෙනෙක්‌ තෝරාගන්න කියලා. ඒත් මම හිතුවා අවුරුදු දෙකක්‌ ආශ්‍රය කරලා මම තෝරාගත්ත කෙනාවම තමයි බඳින්නෙ කියලා. විවාහ වුණාට පස්‌සේ කලින් තිබුණ ප්‍රශ්න එන්න එන්නම වැඩිවුණා. කීප වතාවක්‌ම ඩිවෝස්‌ වෙන තැනටම ආවත් ඒ වෙනකොට මා වටා විශාල ප්‍රේක්‍ෂක පිරිසක්‌ හිටපු නිසා කලාකාරිණියක්‌ හැටියට පවුලේ මොන ප්‍රශ්න තිබුණත් ආදර්ශවත් චරිතයක්‌ වෙන්න ඕන කියලා හිතපු නිසා ඒ හැම ප්‍රශ්නයක්‌ම විසඳගන්න උත්සාහ කළා. ඒ හැම තැනකදීම හරහට හිටියේ නිර්මාල්ගෙ අධික කෝපය තමයි. එයාට එයාව පාලනය කරගන්න බැරි ආවේගශීලි තරහක්‌ තියෙනවා. ඒක මම හිතන්නේ එයාට උප්පත්තියෙන් ආපු දෙයක්‌. කොහොම වුණත් පොඩි පොඩි ප්‍රශ්න ඕනම පවුලක තියෙන නිසා සාර්ථක පවුල් ජීවිතයක්‌ ගතකරන්න තමයි මම හිතුවේ. නමුත් දැන් ටික දවසකට කලින් තමයි තීරණය කළේ අපිට තවදුරටත් එකට ජීවත්වෙන්න බැහැ කියලා. ඒ නිසා ටික දවසක ඉඳලා මම ඉන්නේ මගේ දෙමාපියන් එක්‌ක. නිර්මාල් ඉන්නේ එයාගේ ගෙදර.
පොසොන් පොහොය දින සිදුවුණු සිද්ධිය මොකක්‌ද?
මමයි නිර්මාලුයි දෙපැත්තකට වෙලා ඉන්න නිසා කීප වතාවක්‌ම මගේ තාත්තා මේ ගැන කතා කරන්න නිර්මාල්ට අපේ ගෙදර එන්න කිව්වත් එයා ආවේ නැහැ. ඒ නිසා මගේ තාත්තයි, මමයි, නිර්මාල්ගේ බාල සොහොයුරයි, තවත් අපේ යාළුවෙකුයි එක්‌ක නිර්මාල්ගේ ගෙදර ගියා. මේ ගැන කතා කරන්න. ඒ මොහොත් තාත්තා නිර්මාල්ගෙන් ප්‍රශ්න කරගෙන යද්දී එයාට පාලනය කරගත නොහැකි ඒ තරහ ආවා.
ඒ මොහොතේ මේසය උඩ තිබුණු වීදුරු භාජනයක්‌ අරගෙන මගෙ තාත්තාට ගහලා කිව්වා ඩිවෝස්‌ එක ඕනමයි කියලා. පස්‌සේ තාත්තව රෝහල්ගත කරලා බෙහෙත් කළා. ඒ මොහොතේ තමයි තවදුරටත් මම තීරණය කළේ නිර්මාල්ට වචනයකින්වත් හිත රිදෙන්න කතා නොකරපු මගේ තාත්තාට එයා එහෙම දෙයක්‌ කළා නම් මට කොහොම දෙයක්‌ කරයිද කියලා.
ඔබේ ජනප්‍රියත්වයත් මේ ප්‍රශ්නවලට හේතුවක්‌ වුණාද ?
නැහැ. මොකද මම විවාහ වුණේ 2008 වසරෙදි 2007 දි තමයි රංගනයට ආවේ. ඊට කළින් 2005 අවුරුද්දේ ඉඳන්ම තමයි වෙළෙඳ දැන්වීම්වල පෙනී හිටියේ. අපි දෙන්නා යාළුවෙලා ඉන්න කාලෙදිත් ඊට පස්‌සේදිත් නිර්මාල් උපරිමයෙන් මට සහයෝගය ලබාදුන්නා. මගේ ජනප්‍රියත්වයට නිර්මාල්ගේ සහයෝගය පහසුවක්‌ වුණා.
මේනක රාජපක්‍ෂ හා ඔබ අතර සම්බන්ධයක්‌ පවතින බවට විවිධ කට කතා පැතිරෙනවා.
මේනකව මට මුණ ගැහුණේ මුතු කිරිල්ලී නාට්‍යය හරහා. එතැන් පටන් අමන්දා ටෙලිනාට්‍යය දක්‌වා මගේ ළඟින්ම හිටිය. ක්‍ෂේත්‍රයේ ඉන්න හොඳම මිත්‍රයෙක්‌ තමයි මේනක රාජපක්‍ෂ. ඒ හිතවත්කම නිසාම මගේ හැම ප්‍රශ්නයකදීම ගොඩක්‌ දේවල් ගැන කතා බහ කරන්නේ මේනකත් එක්‌ක. ඒ හැම ප්‍රශ්නයකදීම එයා මගෙ ළඟින්ම හිටියා. එතනින් එහාට කිසිම හිතවත් කමක්‌ අපි දෙන්නා අතර නැහැ. එයා මගේ හොඳ මිත්‍රයෙක්‌ විතරයි. මමයි නිර්මාලුයි අතර ප්‍රශ්න තිබුණේ විවාහ වෙන්න කලින් සිටමයි.
මේ සම්බන්ධව ඔබ ගෙන තිබෙන ඉදිරි පියවර මොනවාද ?
ඩිවෝස්‌ වෙන්න අවශ්‍ය නීතිමය පියවර මේ වෙනකොට සකසමින් ඉන්නේ. නිර්මාල් නම් නොයෙක්‌ ප්‍රකාශ කරලා තියෙනවා. මගේ ජනප්‍රියත්වය වට්‌ටන්න මඩ ගහනවා කියලා. මම දැන් කොහොමටත් ඒ හැම දේටම සූදානම් වෙලා ඉන්නේ. ඒනිසා කිසි කෙනෙකුට මාව වට්‌ටන්න බැහැ.
ඔබේ රංගන කටයුතුවලට මේ තත්ත්වය බලපා තියෙන්නේ මොන විදිහටද?
අමන්දා ටෙලි නාට්‍යයේ නම් ෂුටින් ඉවරයි. රුවන් මාලිගා ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. වෙනදාටත් වඩා නිර්මාණ ගොඩකට ආරාධනා ලැබිලා තියෙනවා. රටේ ජනතාවත් මේ සම්බන්ධයෙන් නෙයෙකුත් දේවල් කියයි. ඒ කිසිම දේකින් සැලෙන්නේ වැටෙන්නේ නැතිව මෙතෙක්‌ දුර මම ආපු මේ ගමන ඉදිරියටත් යනවා.

Source Divaina Newspaper

Sri Lankan Actress Nehara Peris  is Going to Divorce ?

ජංගම දුරකථන ගාස්තු පහළට

ජංගම දුරකථන අවම ගාස්තුව තවදුරටත් පහළ දැමීම සදහා දුරකථන සමාගම්වලට අවසර ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සූදානම් වන බව  එහි අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පැවසීය.

ලබන මස සිට කි‍්‍රයාත්මක වන පරිදි අවම ගාස්තුව විනාඩියකට රුපියල් 1.50 දක්වා අඩු කිරිමට සමාගම්වලට අවසර ලබාදෙන අතර, දැනට ජංගම දුරකථන සදහා කොමිසන් සභාව විසින් නියම කරන ලද අවම ගාස්තුව රුපියල් 2 කි.

අයවැය ලේඛනය මගින්ද අවම ගාස්තු අඩු කරන බව ප‍්‍රකාශ කෙරුණු අතර, දැනට ශී‍්‍ර ලංකාවේ දුරකථන භාවිතය මිලියන 20 ක් පමණ වන බවත්   ඉන් මිලියන 17 ක් ජංගම දුරකථන භාවිත කරන්නන් බවයි ඔහු අනාවරණ කළේය.

Wednesday, June 22, 2011

අතුරු කමිටුවේ කිහිප දෙනෙකු ඉවතට-ක්‍රිකට් ආයතනයට නිලධාරීන් මැතිවරණයකින්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නිලධාරීන් මැතිවරණ‍යකින් තෝරා පත් කර ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ක්‍රීඩා අමාත්‍ය මහින්දා නන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එංගලන්ත තරග සංචාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙකු ඉවත් වීමට තීරණය කර ඇති බවද අද දෙරණ කළ විමසීමක දී අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ සංචාරයෙන් පසු අතුරු කමිටුවේ වෙනසක් සිදු කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු එම කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙකුද ඉවත්ව යාමට කැමැත්ත පළ කර තිබූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

Tuesday, June 21, 2011

මොස්කව් දක්වා සෘජු ගුවන් ගමන් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ සිට මොස්කව් නගරය දක්වා සෘජු ගුවන් ගමන් සැප්තැම්බර් 15 වන දින නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

Saturday, June 18, 2011

ලොරියක් හා බසයක් ගැටී හත් දෙනෙකුට තුවාලයි

තෙල්දෙණිය, මහියංගණ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.

අද(18) දහවල් ඔරුතොට ගෝනවල ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ බස්රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව තෙල්දෙණිය පොලිසිය සඳහන් කරනු ලැබීය.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් බරපතල තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් සිව් දෙනෙකු මහනුවර රෝහලට මාරු කර යවා තිබේ.

අනතුර සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

Friday, June 3, 2011

බස් සේවකයාට පහරදුන් ලංවිම සේවකයින් තවමත් අත්අඩංගුවට ගෙන නෑ

පෞද්ගලික බස් ‍රථ සේවකයෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකෙරෙන ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විට යොදවා ඇති බව ගල්කිස්ස ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු අද දෙරණට සඳහන් කළේය.

රත්මලාන ඩිපෝවේ සේවය කරන අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඩිපෝ බලධාරීන්ගේ සහය ප්‍රමාණවත් නොවන බව පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම පහරදීමට විරෝධය පළ කරමින් පානදුරින් ගමන් ගන්නා සියලුම පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක නිරතව සිටියි.

ඊට අමතරව කළුතර, මතුගම, මොරටුව, අලුත්ගම සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන බස් රථ සේවකයින් ද ඊයේ(02) සිට වර්ජනයක නිරත වෙයි.

අද(03) උදෑසන සිට මාර්ග අංක 154 , 176 , 163 , මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ සේවකයින් ද වර්ජනයට එක්විය.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More