Time & Date in Sri Lanka

Sunday, August 28, 2011

නිව්යෝර්ක්හි ලාංකිකයන් ගැන නිත්‍ය ‍නියෝජිත කාර්යාලය හරහා උපදෙස්

හරිකේන් කුණාටුවේ බලපෑමට ලක්ව තිබෙන නිව්යෝර්ක් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිව්යෝර්ක් ශ්‍රී ලංකා නිත්‍ය ‍නියෝජිත කාර්යාලය හරහා අවශ්‍ය උපදෙස් ලබා දීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

වොෂින්ටන් බලධාරීන් ලබා දෙන නියෝග වලට අනුව කටයුතු කරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට ද උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

හරිකේන් අයරින් කුණාටුව හේතුවෙන් නිව්යෝර් නගරයේ දෛනික කටයුතු අඩාල වී ඇති අතර දැඩි වර්ෂාව සමඟ ගංවතුර තර්ජනයක් ද මතුව තිබේ.

උතුරු කැරොලිනා , වර්ජිනියා සහ වොෂින්ටන් ඇතුළු ප්‍රාන්ත කිහිපයකට පසුගිය සෙනසුරාදා සිට හරිකේන් කුණාටුවේ බලපෑම් එල්ල විය. 

Friday, August 26, 2011

ග්‍රීස් යකුන් යැයි පහරදී දෙදෙනෙකු මියයාම -පස්දෙනෙකු අත්අඩංගුවට

හපුතලේ, තොටලාගල ප්‍රදේශයේදී කළ පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

‍ හපුතලේ පොලිසිය විසින් අද(26) පස්වරුවේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කළේය.

‍ ග්‍රීස් යකුන් යැයි සැකකරමින් තොටලාගල වතු කම්කරුවන් විසින් පහරදීම නිසා මෙම පුද්ගලයින් දෙදෙනා මරණයට පත්විය.

‍ මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙසේ ඝාතනයට ලක්ව තිබිණි.

‍ සැකකරුවන් පස්දෙනා හෙට(27) බණ්ඩාරවෙල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

Tuesday, August 16, 2011

ආනන්දසංගරී ජනපතිගේ මැදිහත්වීම පතයි


අවශ්‍ය ආරක්ෂාව මත ජනතාවට සාමකාමීව ජීවත්වීම සඳහා ඉඩකඩ සලසා දෙන ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

යාපනය, පුනරීන් ප්‍රදේශයේ සිවිල් පරිපාලන කටයුතුවලට ආරක්ෂක අංශවල මැදිහත්වීම් සිදුවීම සම්බන්ධව අප්‍රසාදය පළකරමින් ජනාධිපතිවරයා වෙත එවන ලද ලිපියකින් ඒ මහතා මේ බව දැනුම් දී ඇත.

මෑතකදී පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේදී පරාජයට පත් දේශපාලන පක්ෂයක ක්‍රියාකාරකම් පිළිබඳව බලවත් විරෝධය මෙන්ම අප්‍රසාදය පළකරන බව සංගරී මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

මැතිවරණයේදී වෙනත් පක්ෂ සඳහා බාධා එල්ල කළ ආරක්ෂක අංශ සාමාජිකයින් එම පරාජිත පක්ෂයේ ප්‍රචාරණ කටයුතු සඳහා සහයෝගය ලබාදුන් බවට ද ඔහු චෝදනා එල්ල කර ඇත.

එමෙන්ම එම පක්ෂය සමුපකාර නිලවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ද ආරක්ෂක අංශ සහයෝගය ලබාගැනීමට කටයුතු කරන බව ආනන්දසංගරී මහතා පෙන්වාදෙයි.

නිසි පරිදි රාජකාරි කටයුතු සිදුකරන ආරක්ෂක අංශ නිලධාරීන් වෙත ගෞරවය පිරිනමන බවත්, නමුත් ඇතැම් නිලධාරීන් ආරක්ෂක අංශවල කීර්ති නාමයට හානිවන අයුරින් කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කරයි.

ඇතැම් හමුදා නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් නිසා එම ප්‍රදේශවල ජනතාව බියෙන් පසුවන බව ද ආනන්දසංගරී මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම යාපනයේ එක් එක් සමුපකාර සංගම්වලින් හමුදා නිලධාරීන් පිරිසක් රුපියල් මිලියනය බැගින් එකතු කර ඇති බවටත් ඒ මහතා සිය ලිපිය මගින් චෝදනා එල්ල කරයි.

මේ සම්බන්ධව මැදිහත්ව කටයුතු කරන ලෙසත්, අවශ්‍ය පරීක්ෂණ පවත්වා අදාළ හමුදා නිලධාරීන් සම්බන්ධව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. 


Wednesday, August 10, 2011

අමෙරිකානු ගුවන්යානා අනවසරෙන් ඇවිත් නෑ

අමෙරිකානු ගුවන්යානා කිහිපයක් ශ්‍රී ලංකා ගුවන් සීමාව උල්ලංඝණය කළ බවට පළ වූ වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියි.

අමෙරිකානු නාවික හමුදාවට අයත් මෙම ගුවන්යානා ජාත්‍යන්තර ගුවන්සීමාවට පැමිණ ඇති බව තහවුරුවී ඇති බවත්,ජාත්‍යන්තර ගුවන් සීමාවට පැමිණීමට ඕනෑම රටක ගුවන් යානාවලට බාධාවක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

එසේ වුවද මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අනුව මෙම ගුවන්යානා ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වූ බවට පිළිගත හැකි කිසිදු සාක්ෂියක් නැතැයි සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත. 

ශිෂ්‍යාධාර ඉල්ලා ජ,පුර සිසුන් උපකුලපතිගේ කාර්යාලය වටලයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් උපකුලපතිවරයාගේ නිල කාර්යාලය ඇතුළු පරිපාලන ගොනැගිල්ල වටකර ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.

අද පස්වරු 1.00ට මහපොල ශිෂ්‍යාධාර ලබාදීමේ නිල උත්සවය පවත්වන්නට කටයුතු යොදා තිබුණු අතර එම අවස්ථාවට සහභාගී වූ උපකුලපති ආචාර්ය එන්.එල්.ඒ කරුණාරත්න මහතා සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර නොදෙන බව පවසා යන්නට ගිය බව එහි ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 







STUDENTS SURROUND ADMINISTRATIVE BUILDING AT J’PURA

Friday, August 5, 2011

ගන්නෝරුව සූර්යබල ව්‍යාපෘතිය 8 වැනිදා ජනතා අයිතියට

මෙරට ක්‍රියාත්මක ප්‍රථම ජාල සම්බන්ධිත සූර්යබල ව්‍යාපෘතිය වන හම්බන්තොට ගන්නෝරුව සූර්යබල ව්‍යාපෘතිය ලබන 8 වැනිදා ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය මගින් කිලෝවොට් 500ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මෙම ව්‍යාපෘතිය සඳහා කොරියානු රජය රුපියල් මිලියන 412ක ආධාර ලබාදී තිබේ.

ජල විදුලියට අමතරව මෙරට ප්‍රධාන විදුලි උත්පාදක මාධ්‍ය බවට පත්ව ඇත්තේ ඉන්ධන වන අතර ඒ සඳහා වැය වන පිරිවැය අධික බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව නව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මගින් ඉන්ධන යොදා විදුලිය උත්පාදනය කිරීම සීමා කිරීමට හැකි වන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. 

Tuesday, August 2, 2011

හිතු මනාපෙට තෙල් ගොඩබාන්නෙත් නෑ-බෙදාහරින්නෙත් නෑ

කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයෙන් බෙදාහරින පෙට‍්‍රල්, ඞීසල්, භූමිතෙල් ගොඩබෑම හා බෙදාහැරීම සිදුකෙරෙන්නේ ස්වාධීන පරීක්‍ෂණ කණ්ඩායම් මගින් තහවුරු කිරීමෙන් පමණක් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

ගොඩබෑමෙන් පසුද කොළොන්නාව හා සපුගස්කන්ද රසායනාගාර පරීක්‍ෂණ මගින්ද එහි ගුණාත්මක භාවය පිළිබඳ තහවුරු කර ගන්නා බවත්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඉන්ධන දිවයින පුරා බෙදාහැරීම සිදුකරනු ලබන්නේ එයින් අනතුරුව බවත් ඛනිජ තෙල් සංස්ථාව සභාපති එම්.ආර්.ඩබ්ද සොයිසා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එහෙයින් දැනට බෙදාහරින ඉන්ධන නියමිත පිරිවිතරයෙන් යුක්ත බවට සහතික කරන බවත්,ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරු ඇතුළු ප‍්‍රධානීන්ගේ අධීක්‍ෂණයෙන් දැනට තෙල් ආනයනය හා බෙදාහැරීම සිදුකෙරෙන බවත් සභාපතිවරයා එමගින් කියා සිටියි.

එමිරේට්ස් ජාතික තෙල් සංස්ථාවෙන් ගෙන්වූ ඞීසල් මෙන්ම සියලූම තෙල් සැපැයුම්කරුවන්ගෙන් ආනයනය කරන ඉන්ධන වර්ග නියමිත පරීක්‍ෂණවලින් පසුව පිරිවිතර ගැළපේ නම් පමණක් නිකුත් කරන බව ඔහු අවධාරණය කරයි. 

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More