Time & Date in Sri Lanka

Sunday, June 26, 2011

දුම්රිය මාර්ග ඉන්දියාවට කොන්ත්‍රාත් දීමෙන් පාඩුව කිලෝමීටරයකට ඩොලර් ලක්ෂ 15යි - ටිල්වින් සිල්වා


ලංකාවේ දුම්රිය මාර්ග ඉදි කිරීම ඉන්දියාවට කොන්ත්‍රාත් දීම නිසා අති විශාල පාඩුවක් සිදු වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා‍ පෙන්වා දුන්නේ කන්කසන්තුරේ සිට ඕමන්ත දක්වා කිලෝමීටර් 149ක දුම්රිය මාර්ගයත් ‍තලෛමන්නාරම සිට මැදවච්චිය දක්වා කිලෝමීටර් 106 දුම්රිය මාර්ගයත් ඉදිකිරීම එක් කිලෝමීටරයක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 20 බැගින් ඉන්දියාවට දීම නිසා එක් කිලෝමීටයකින් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 15ක පාඩුවක් සිදු වන බවයි. මෙම කොන්ත්‍රාත් ඉන්දියාවට දීමට සිදුව තිබෙන්නේ 2010 වසරේදී ඉන්දියාවෙන් ඩොලර් මිලියන 800ක ණයක් ගැනීම නිසා බවද ටිල්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේය.
මැයි මස පළමුවැනිදා ආණ්ඩුවේ මැයි දිනයට බස් රථ ලබා දීමෙන් ලංගමට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ 400ක් බවද ඔහු පැවසීය. මෙම නාස්තියේ හා දූෂණයේ බර දැරීමට සිදු වන්නේ ජනතාවට බව පෙන්වා දුන් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා ආණ්ඩුව වහාම බස් ගාස්තු අඩු කර ජනතාවට සහන සැලසිය යුතු බවත් ලංගම හා පෞද්ගලික ප්‍රවාහන සේවයට සහන සැලසිය යුතු බවත් අවධාරණය කළේය.
ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘‘ජූලි මාසේ පළමු වැනිදා සිට බස්ගාස්තු 7.6%කින් වැඩි වෙනවා. පෞද්ගලික අංශයේ බස් ගාස්තු වගේම ලංගම බස් ගාස්තුවත් මේ අනුව වැඩි කරන්න තීරණය කර තිබෙනවා. ජීවත් වෙන්න අමාරුවෙන් ඉන්න ජනතාවට මේ බස් ගාස්තුව අමතර බරක්.
ජනතාවට වගේම බස් සමාගම්වලටත් අමාරු තත්වයක් තිබෙන්නේ. ලංගමට, පෞද්ගලික අංශයට සහන දීලා ජනතාවට බර පැටවෙන්නේ නැති විදියට කටයුතු කිරීම ආණඩුවේ වගකීමක්. නමුත් ආණ්ඩුව ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ අර්බුදයේ බර ජනතාව මත පටවා තිබෙනවා.
1978න් පස්සේ පෞද්ගලික බස් සේවය ඇති කරන කොට එදා ආණ්ඩුව කිව්වේ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ තරගය නිසා බස් ගාස්තු ස්ථාවරව තිබෙනවා, ජනතාවට හොඳ ප‍්‍රවාහන සේවයක් අත් වෙනවා කියලා. නමුත් ඇත්තටම සිද්ධ වෙලා තිබෙන්නේ ලංගම සහ පෞද්ගලික අංශය තරගයට බස් ගාස්තු වැඩි කළ එකයි. මගීන්ට ලැබෙන පහසුකම් අඩු කරනවා.
පෞද්ගලික බස් හිමියන්ගේ ප‍්‍රශ්නයත් සාධාරණයි. පසුගිය කාලයේ ඉන්ධන ගාස්තු වැඩි වුණා, අමතර කොටස්වල මිල ඉහළ ගියා. ගාස්තු වැඩි වුණා. ඒ නිසා ඔවුන්ට කිසියම් සහනයක් අවශ්‍යයි. ඔබට මතක ඇති ආණ්ඩුව පසුගිය මැතිවරණවලදී ප‍්‍රවාහනය සඳහා ඉන්ධන දීමනාවක්, අමතර කොටස් සඳහා සහන, ලිහිසි තෙල් සඳහා සහන දෙන බව කිව්වා. නමුත් ඒ කිසිවක් ලබා දී නැහැ. ඔවුන් මුහුණ දෙන ගැටලූව විසඳුවෙත් නැහැ.
ඒ වගේම මාර්ග බලපත‍්‍ර ලබා දීමේදීත් අවුල් ජාලයක් ඇති කර තිබෙනවා. දේශපාලනඥයින්ගේ හිතවතුන්ට බලපත‍්‍ර දුන්නේ. ලාබ ලබන්න පුළුවන් මාර්ගවලට වැඩියෙන් බලපත‍්‍ර දුන්නා. ඒ නිසා ඒ මාර්ගවල තරගයක් තිබෙනවා. ලාබ අඩු මාර්ගවලට ප‍්‍රමාණවත් තරම් බස් රථ නැහැ. ඒ නිසා විෂමතාවක් තිබෙනවා.
වාහන බලපත‍්‍ර දීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් තිබෙනවා. මගී සංඛ්‍යාව ගැන සමීක්ෂණයක් කරලා, ප‍්‍රමාණවත් තරම් බස් රථ සඳහා බලපත‍්‍ර දෙන්න, කිසියම් පුරප්පාඩුවක් ඇති වුණොත් ඒ පුරප්පාඩුව පිරවීම සඳහා බලපත‍්‍ර දෙන්න කියලා. නමුත් මේ කිසිවක් අනුගමනය කරන්නේ නැතිවයි ආණ්ඩුව කටයුතු කරන්නේ.
යුද්ධයෙන් පස්සේ යාපනය කොළඹ මාර්ගය විවෘත වුණා. ඒ මාර්ගයේ බස් රථ සඳහා ටෙන්ඩර් දෙන්න ආණ්ඩුව තීරණය කළා. නමුත් දුන්නේ බස් හිමියන්ට නොවෙයි ආණ්ඩුවේ හිතවතුන්ට. ඔවුන් ඒ බලපත‍්‍ර රුපියල් ලක්ෂ 50 ගණනේ විකුණුවා. මාසෙකට දළ වශයෙන් රුපියල් ලක්ෂ 4ක්  ඕන වැටුප්, නඩත්තුවලට අමතරව බලපත‍්‍ර සඳහා. මේ තත්වය නිසා ගාස්තු වැඩිවීමක් ඉල්ලන්න ඔවුන්ට සිදු වුණා. ඒ වගේම කප්පම් ගැනීමේ සිදුවීම් වාර්තා වනවා. කප්පම් ගන්නේ ආණ්ඩුවේ හිතවතුන් නිසා ඒක නතර කරන්න මැදිහත් වෙලා නැහැ.
මීට පෙර ලංගමට බස් රථ මිලදී ගත්තේ මහා භාණ්ඩාගාරයෙන්. නමුත් දැන් බස් රථ අරගෙන ලීසිං කරලා ඩිපෝවලට දෙනවා, ලීසිං ගෙවන්න. ඒ විදියට බස් රථ 200 ක් දුන්නා. ඒ නිසා ඩිපෝවලට අමතර බරක්. දැන් සේවකයින්ට වැටුප් ගෙවාගන්න විදියක් නැතිව දවසේ ආදායම එකතු කරලා වැටුප් ගෙවන තත්වයට පත් වෙලා. ඒ වගේම ආණ්ඩුවේ හෙංචයියන් ලංගම තනතුරුවලට දාලා අවුල් ජාලයක් ඇති කරලා.
පසුගිය මැතිවරණවලදී ආණ්ඩුව ලංගම බස් රථ යොදා ගත්තා. ඒ නිසා කෝටි ගණනක් ලංගමට පාඩුයි. පසුගිය මැයි දිනයේදී ආණ්ඩුවේ මැයි දිනයට බස් රථ සැපයීම නිසා එක් දිනක් තුළ ලංගමට සිදු වී තිබෙන පාඩුව රුපියල් ලක්ෂ 400ක්. සාමාන්‍යයෙන් ලංගම බස් රථ දෙන්නේ කිලෝමීටරයකට රුපියල් 65බැගින්. නමුත් ආණ්ඩුව මැයි දිනයට බස් රථ ගත්තේ කිලෝමීටරයට රුපියල් 10ටත් අඩුවෙන්. දැන් බස් රථ සඳහා අමතර කොටස් මිලදී ගන්න රුපියල් මිලියන 180ක් ලංගම සේවකයින්ගේ අර්ථ සාධක අරමුදලෙන් අරගෙන තිබෙනවා.  මේක බරපතළ තත්වයක්.
බස් ගාස්තුවලට අමතරව දුම්රිය ගාස්තු වැඩි වීමේ අවදානමකුත් තිබෙනවා.
ඔබ දන්නවා දුම්රිය මාර්ග නඩත්තුව ඉන්දියාවට දුන්නා. පසුගිය අවුරුද්දේ ජූලි මාසයේ ජනාධිපතිවරයා ඉන්දියාවට ගිහින් ගිවිසුම් 17කට අත්සන් කළා. ඒ වගේම ඉන්දීය අගමැති මන්මෝහන් සිං එක්ක ඒකාබද්ධ ප‍්‍රකාශයකටත් අත්සන් කළා. ඒ සංචාරයේදී ඉන්දියාව ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 800ක ණය මුදලක් දෙන්න එකඟ වුණා. මුදල වෙන් කරන්න පුළුවන් රේල් පාරවල් හදන එකට විතරයි.
පලෙයි සිට කන්කසන්තුරේ දක්වා එක් කිලෝමීටරයක් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක් යනවා කියලා ආණ්ඩුව ඇස්තමේන්තු කළා. නමුත් දැන් ඒ ඇස්තමේන්තු පැත්තක දාලා ඒ මාර්ගයත් හදන්න ඉන්දියාවට දීලා තිබෙනවා. ප‍්‍රශ්නය තමයි මේ දුම්රිය මාර්ග ඉදි කිරීම සඳහා ඉන්දියාවට කොන්ත‍්‍රාත් දීලා තියෙන්නේ එක් කිලෝමීටරයකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 20බැගින්. එක් කිලෝමීටරයකින් ඩොලර් ලක්ෂ 15ක් පාඩුයි. සමස්ත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 223'5ක්. තෙලෙමන්නාරම සිට මැදවච්චිය දක්වා දුම්රිය මාර්ගය ඉන්දියාවට දීම නිසා සිදු වන පාඩුව ඩොලර් මිලියන 159යි. මේ දුම්රිය මාර්ගය රජය හැදුවා නම් ඒ මුදල ඉතිරියි. ඒ මුදලෙන් පුළුවන් ලංගමට සහන දෙන්න, දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩනගන්න.

ඒ නිසා මේ නාස්තිය නතර කරන්න ඕන. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ බස් ගාස්තු පිළිබඳ ප‍්‍රශ්නය බස් රථ හිමියන් සහ ජනතාව අතර ප‍්‍රශ්නයක් බවට පත් කොට ඇඟ බේරා ගන්නයි. අපි කියන්නේ ආණ්ඩුවට එහෙම කරන්න අයිතියක් නැහැ. ඒ නිසා මේ නාස්තිය, දූෂණය නතර කරලා බස් ගාස්තු අඩු කරලා, ලංගමට සහ පෞද්ගලික අංශයේ බස් හිමියන්ට අවශ්‍ය සහන දීලා මේ ප‍්‍රශ්නය ජනතාවට බරක් නොවන විදියට කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමක්.’’
මෙම මාධ්‍ය හමුවට ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාද සහභාගි විය.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More