Time & Date in Sri Lanka

Saturday, July 9, 2011

කොමිසමේ වාර්තාවෙන් නිවැරදි තොරතුරු ලැබෙතැයි විශ්වාස කරනවා

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා සෑම අවස්ථාවකදීම සියලුම ජාතීන්ට සාමයෙන් හා සමගියෙන් ජීවත්විය හැකි ඒකීය ශ්‍රී ලංකාවක් අපේක්ෂා කළ බව එංගලන්තයේ රාජ්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් මහතා පවසයි. 

‍ අද(09) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ පැවති ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනයේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. 

‍ උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළින් ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන සිදුවීම් සම්බන්ධව නිවැරදි තොරතුරු ඉදිරිපත් වනු ඇති බව තමන් විශ්වාස කරන බව ඔහු කියා සිටියේය. 

‍ එමෙන්ම ඒ තුළින් ලක්ෂ්මන් කදිරගාමර් මහතා අපේක්ෂා කළ දෙය ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමට අවස්ථාව ලැබෙනු ඇති බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ලියම් ෆොක්ස් මහතා ප්‍රකාශ කළේය. 

Friday, July 8, 2011

අවසර නැති කොළඹ දැන්වීම් පුවරු වහා ඉවතට

අනුමැතියකින් තොරව කොළඹ නගරය තුළ ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පුවරු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ.

කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය මීට අදාළ උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

කොළඹ මහ නගර සභා සීමාව තුළ විශාල ප්‍ර‍මාණයේ අනවසර දැන්වීම් පුවරු පන්සීයක් පමණ ඇති බවට ගණන් බලා ඇත.

එම පුවරු පසුගිය 30 වැනි දිනට පෙර ගලවා ඉවත් කරන ලෙස මීට පෙර අදාළ සමාගම් වෙත දැනුම් දී තිබුණි. 



UNPERMITTED BILLBOARDS IN COLOMBO TO COME DOWN

Wednesday, July 6, 2011

දැන්වීම්වල සිල්ලර මිල ලකුණු නොකළ ආයතන 40 ට නඩු

පුවත්පත්වල දැන්වීම් පළකිරීමේ දී භාණ්ඩවල සිල්ලර මිල සඳහන් කළ යුතු බවට වු නියෝගය උල්ලංඝණය කළ ආයතන 40 ට එරෙහිව නීති මගින් ක්‍රියා කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ශීතකරණ , යතුරු පැදි , ඖෂධ වර්ග , රථ වාහන ඇතුළු භාණ්ඩ අලෙවිය සම්බන්ධ වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනයේ දී මිල සඳහන් නොකිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මේ වසරේ ජනවාරි මාසයේ සිට අදාළ නීති ක්‍රියාත්මක කිරීමට සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඉදිරියේදී ද එම නීති උල්ලංඝණය කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය. 

Monday, July 4, 2011

කරූ සාක්ෂි දීම අරඹද්දී විදුලිය විසන්ධි වෙයි

විදුලි බලය ඇන හිටීම නිසා සුදු කොඩි ප්‍රකාශය පිළිබඳ නඩු විභාගය හෙට(05) දිනට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(04) තීන්දු කර තිබේ. 


එම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී විත්තිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතා සාක්ෂී දීම ආරම්භ කළ අතර එම අවස්ථාවේ විදුලිය විසන්ධි වීම සිදුවිය. 

රුපියල් ලක්ෂයක් වැය කොට වාහන නැවැත්වීමේ අංගනයක් සකස් කරද්දී මෙවැනි මූලික අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු නොකිරීම කණගාටුදායක බව මේ ආකාරයෙන් වරින් වර විදුලි බලය විසන්ධි වීම පිළිබඳ චෝදනා එල්ල කළ විනිසුරු ඩබ්ලිව්.එම්.ජී.බී වරාවැව මහතා කියා සි‍ටියේය.

මේ හේතුවෙන් විනිසුරුවරු මෙන්ම ජනතාව ද අපහසුතාවට පත්වන බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවත් විනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ අනුව නඩු විභාගය හෙට දිනට කල් තැබුණු අතර හෙට දින කරු ජයසූරිය මහතා වැඩිදුරටත් සාක්ෂි දීමට නියමිතය.

Sunday, July 3, 2011

යාපන අර්ධද්වීපයේ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයි

යාපනය අර්ධද්වීපය තුළ සිදුකළ යුතුව තිබූ නැවත පදිංචි කිරීමේ කටයුතු මේවන විට සම්පූර්ණ කර ඇති වග යාපනය ආරක්ෂක ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා පවසයි.

අද(03)කෙවිල්,මුල්ලියාන්,වෙප්තිලකේණි යන ප්‍රදේශවල පවුල් 325 ක් නැවත පදිංචි කිරීම තුළින් යාපන අර්ධද්වීපයේ නැවත පදිංචි කිරීමේ කටයුතු නිමා වූ බව හෙතෙම කියා සිටියේය.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දවසේ මෙම නැවත පදිංචි කිරීමේ කටයුතු සිදුකෙරුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. 

මග හිට්ටොත් බලධාරීන්ට කියන්නැයි ඇමති සුසිල් ඉල්ලයි

පෙට්‍රල් භාවිතය නිසා යම් කිසි වාහනයකට ආපදාවක් සිදුවී ඇත්නම් හෝ පෙට්‍රල් යථා තත්ත්වයෙන් නොපවතීනම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශයට ඒ බව දැනුම්දෙන්නැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉල්ලා ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

ඒ අනුව දුරකථන අංක 0115664941,5666328,5665082 යන යන අංක මගින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශය ඇමතිය හැකි බව අමාත්‍යංශය කියා සිටියි.

පෙට්‍රල් භාවිතය නිසා සිදුවන බව කියන ආපාදාවන් පිළිබඳ එකී පැමිණිලි අනුව වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවන ලෙස අමාත්‍යවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබා දී තිබේ. 



Petrol Problem in Sri Lanka

Saturday, July 2, 2011

අයඩින් ප්‍රමිතියට නැත්නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා

වෙළ‍ඳපොළේ තිබෙන ලුණුවල අයඩින් නිසි ප්‍රමිතියට නොතිබුණහොත් ඒ සම්බන්ධයෙන් ලුණු නිෂ්පාදකයින්ට සහ අලෙවිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලුණුවල අයඩින් ප්‍රමාණය 15% ත් 30% ත් අතර ප්‍රමාණයක් තිබිය යුතු බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ලුණු නිෂ්පාදන සමාගම් හිමියන් සමග පසුගියදා සිදුකළ සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දී තිබේ.

දැනට ශ්‍රී ලංකාවේ අයඩින් ඌනතාවය බහුල වශයෙන් දක්නට‍ ලැබෙන අතර ඒ හේතුවෙන් සෑම පුද්ගලයෙකුටම අයඩින් ලබාගත හැකි වන පරිදි ලුණුවලට අයඩින් මිශ්‍ර කිරීම සිදුකළ යුතු බව අමාත්‍යවරයා එහිදී ලුණු නිෂ්පාදකයන්ට දැනුම් දී ඇත. 

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More