Time & Date in Sri Lanka

Tuesday, May 31, 2011

කටුනායකට හෙටත් නිවාඩු..!

කටුනායක නිදහස් වෙළඳකලාපය හෙට දිනයේද වසා තැබීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව නිදහස් වෙළඳකලාපයේ කටයුතු ජූනි මස 02 වන දින සිට යළි ආරම්භ කරන බව ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ සුනිල්ද සිල්වා මහතා අද දෙරණට කියා සිටියේය.

ඊයේ දවසේ යෝජිත විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පතට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වූ නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවකාවන් හා පොලීසිය අතර ඇති වූ ගැටුමෙන් පොලිස් නිලධාරීන් 15 දෙනෙකු පමණද,සේවක සේවිකාවන් ගණනාවක්ද තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

තත්ත්වය සමථයකට පත් කොට ප්‍රදේශයේ නීතිය හා සාමය තහවුරු කරනු පිණිස අද දිනයේ නිදහස් වෙළඳකලාපය වසා තබන බව රජය නිල වශයෙන් ඊයේ නිවේදනය කරන ලදී.

එසේ වුවද කටුනයාක පැවති වෘත්තිය සමිති අරගලයට සහයෝගය පළ කරනු පිණිස අන්තර් සමාගම් සේවක සංගමය විසින් අද දවසේ බියගම නිදහස් වෙළඳකලාපයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන ලදී. 

වැඩකරන ජනතාව නිහඩව බලා සිටි කාලය අවසන්


මෙරට වැඩකරන ජනතාව නිහඩව බලා සිටි කාලය මේ වන විට අවසන්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් යම් පනතක් සම්මත කරගැනීමට පමණක් රජයට හැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

නමුත් එකී පනත මගින් මෙරට වැඩකරන ජනතාවට යම් අහිතක් සිදුවන්නේ නම් ඔවුන් ඊට එරෙහිව අරගලයට පිවිසීම වැළැක්විය නොහැකි බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

ඊයේ(30) කටුනායක විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් කොළඹ දී අද(31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජෝශප් මයිකල් පෙරේරා මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය. 

Monday, May 30, 2011

නොමග යවන්න බැරි වුණාම මර්දනය දැඩි කරනවා

තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී ලෙස පෙනී සිටි සේවක සේවිකාවන්ට ප්‍රහාර එල්ල කිරීම හෙලාදකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ. එකී නිවේදනය පහත පරිදිය.

පෞද්ලික අංශයේ සේවක සේවිකාවන්ගේ බලවත් විරෝධය නොසලකා ආණ්ඩුව විසින් සම්මතකර ගැනීමට උත්සාහ කරන සේවක විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව අද(30)කටුනායක නිදහස් වෙළඳ කලාපය ආශ‍්‍රිතව පැවැති සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුව පොලීසිය ලවා පහර දී වෙඩි තැබීමෙන් උද්ඝෝෂණයට සහභාගී වූවන් රැසක් තුවාල ලබා තිබේ.

ඉන් නොනැවතුණු ආණ්ඩුව ආරක්‍ෂක සේවා යොදවමින් කටුනායක වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවලට කඩා පනිමින් එහි සේවය කරන සේවක සේවිකාවන් බලහත්කාරයෙන් රැගෙන ගිය බවද වර්තාවේ.

සිය සාධාරණ අයිතීන් වෙනුවෙන් සාමකාමී ලෙස උද්ඝෝෂණයේ යෙදුණු වෙළඳ කලාප සේවක සේවිකාවන් වෙත එල්ල කරන ලද ආණ්ඩුවේ අමානුෂික ප‍්‍රහාරය හා ඔවුන් වෙත මුදාහරිම්න් තිබෙන මර්දනය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අපි, නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන්ට එරෙහිව ක‍්‍රියාත්මක කර තිබෙන ආණ්ඩුවේ මර්දනය වහාම නවත්වන ලෙස බලකර සිටිමු.

පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ යහපතට යැයි කියමින් ආණ්ඩුව විසින් සම්මත කිරීමට සැරසෙන විශ‍්‍රාම වැටුප් පනත ඉතාම පැහැදිලි ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා අධිරාජ්‍යවාදී වුවමනාවන්ට අනුව ගෙනෙන හා ආණ්ඩුවේ මුල්‍ය අර්බුදය සේවක වැටුප් අරමුදල්වලින් විසඳා ගැනීම සඳහා ගෙනෙන එකක් බව දැන් හොඳින් පැහැදිලි වී තිබේ.

පෞද්ගලික අංශයේ සමස්ත සේවක සේවිකාවන්ගේම විරෝධය නොසලකා හිතුවක්කාරී ලෙස හා අත්තනෝමතික ලෙස මෙම විශ‍්‍රාම වැටුප් පනත කෙසේ හෝ සම්මත කර ගැනීමට ආණ්ඩුව දරන උත්සාහයෙන්ම පෙනී යන්නේ, මෙය සේවකයින්ගේ යහපත සඳහා ගෙනෙන්නක් නොව ආණ්ඩුව වෙනුවෙන්ම ගෙන එන්නක් බවය.

මෙම විශ‍්‍රාම වැටුප් ප්‍රෝඩාවට එරෙහිව රට පුරා නිර්මාණය වී ඇති දැවැන්ත විරෝධය තේරුම් ගන්නවා වෙනුවට පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ හඬට, වෘත්තීය සමිතිවල හඬට ඇහුන්කම් දෙනවා වෙනුවට ආණ්ඩුව එක් අතකින් තම මැති ඇමැතිවරුන් ලවා බොරු පැහැදිලි කිරීම් කරවමින් සේවකයින් නොමග යැවීමටද එසේ නොහැකි වූ විට ඔවුන් වෙත මර්දනය මුදාහැර ඔවුන් බියවද්දා තම අරමුණ ඉටු කර ගැනීමටද කටයුතු කරන බව පෙනේ.

එසේම සේවක අරගල මර්දනය කිරීම සඳහා ආණ්ඩුව විවිධ උපක‍්‍රම හා කුමන්ත‍්‍රණ ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ දරන බවද පෙනේ. එබැවින් ඒ පිළිබඳ බරපතළ අවධානයෙන් සිටින ලෙස අපි පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගෙන්ද ඉල්ලා සිටිමු.

අවසාන වශයෙන් සේවක හඬට ඇහුන්කම් නොදී හිතුවක්කාර ලෙස හා අත්තනෝමතික ලෙස විශ‍්‍රාම වැටුප් පනත සේවකයින් මත බලෙන් පැටවීමට ආණ්ඩුව ගන්නා උත්සාහයත් ඊට එරෙහිව සාමකාමී ලෙස උද්ඝෝෂණය කළ වෙළඳ කලාප සේවක සේවිකාවන්ට පොලීසිය ලවා ප‍්‍රහාර එල්ල කරමින් බරපතළ තුවාල සිදුකරමින් හා අත්අඩංගුවට ගනිමින් කරගෙන යන දැඩි මර්දනයත් දැඩි පිළිකුලෙන් යුතුව යළි යළිත් හෙළා දකින අපි, සේවක මර්දනය වහාම නතර කරන ලෙසත් සේවක විශ‍්‍රාම වැටුප් ප්‍රෝඪාව වහාම හකුළා ගන්නා ලෙසත් ආණ්ඩුවට බලකරමු. 

Sunday, May 29, 2011

පුද්ගලයින් 24 000 ක් අවතැන්

ජල ගැලීම් වලින් විපතට පත්වු ජනතාවට ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව සහන සැලසීමට පියවර ගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට පුද්ගලයින් 24,000ක් පමණ විපතට පත්ව සිටින අතර අවතැන් කඳවුරු හයක පුද්ගලයන් පන්සිය දෙනෙකු පමණ රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර ජලගැල්මෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා අවිස්සාවේල්ල සහ යටියන්තොට ප්‍රදේශවලට පිටත් කර තිබු නාවික හමුදා කණ්ඩායම් යළි ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කර සිටියේ ආපදා තත්ත්වය පහව යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. 

Friday, May 20, 2011

දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන විධිමත් පරීක්ෂණයක්


දුම්රිය රියදුරු සහායකවරුන් ආරම්භ කර ඇති ‍සේවයෙන් බැහැරව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජී.ඒ. මහානාම මහතා පවසයි.

වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වී තිබෙන සිද්ධියට අදාළ පාර්ශව සමග අද(20) දිනයේ ද සාකච්ඡා පවත්වන බව ඔහු සඳහන් කරයි.

දුම්රිය රියදුරු සහායකවරයෙකුට පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කිරීමේ අරමුණින් දුම්රිය සහායකවරුන් පසුගිය 18 වැනි දින මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසුණි.

කෙසේවෙතත් දුම්රිය ගමනා ගමන කටයුතු නිසි පරිදි සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව මහානාම මහතා ප්‍රකාශ කළේය.

Tuesday, May 17, 2011

කර්මාන්ත ගැටලු විසඳීමට විශේෂ ඒකකයක්

මෙරට කර්මාන්තකරුවන් සහ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සහ අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව මෙම ඒකකය පිහිටුවන බව අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.

මෙම ඒකකයේ කටයුතු සඳහා අදාළ අනෙකුත් අමාත්‍යාංශ වාණිජ මණ්ඩලය නිෂ්පාදකයින්ගේ සහ අපනයකරුවන්ගේ සංගම් හා රේගුව වැනි ආයතන සම්බන්ධ කර ගැනීමට ද අපේක්ෂිතය.

ජූනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම විශේෂ ඒකකය මගින් අපනයන ඉලක්ක කර ගත් කර්මාන්ත වලට ප්‍රමුඛත්වය ලබා දෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටලු සඳහා ද විශේෂ අවධානයක් යොමු කරන බව අමාත්‍යවරයා සදහන් කළේය.

Monday, May 16, 2011

ෆොන්සේකාට දෙසතියක විවේකයක් ඕනෑ-විශේෂඥ වෛද්‍ය වාර්තාව කියයි


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතාට සතියක හෝ දෙකක විවේකයක් අත්‍යවශ්‍ය බවට විශේෂඥ වෛද්‍ය වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා පවසයි.

එසේම බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් පෙණහළුවලට බලවත් සේ හානි සිදුව ඇති බැවින් දූවිලි ඉතා අහිතකර බවත්,එබැවින් බන්ධනාගාරය තුළ දූවිලි නොමැති කුටියක ඔහුව රැඳවිය යුතු බවත් විඥේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර ඇතැයි හෙතෙම සඳහන් කරයි.

පසුගිය දින කිහිපයක සිට සරත් ෆොන්සේකා මහතා අසනීප තත්ත්වයේ පසුවන බැවින් අද(16)දිනයේද විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතා හමුවට යොමු කළ බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

සරත් ෆොන්සේකා මහතා පසුගිය බ්‍රහස්ප්‍රතින්දා කොළඹ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් කිරීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ බවත්,එකී විශේෂඥ වෛද්‍ය වාර්තාව අද දිනයේ ලැබුණු බවත් ටිරාන් අලස් මහතා සඳහන් කළේය.

එම වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ෆොන්සේකා මහතාට සහනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More