Time & Date in Sri Lanka

Wednesday, April 13, 2011

මහ ලේකම්ට දුන්නු වාර්තාව ප්‍රසිද්ධ කරන්න ඕනෑ-ඇමිනෙස්ට් ජාත්‍යන්තරය ඉල්ලයි


එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මීට පෙරාතුව කරන ලද ප්‍රකාශයන්ට අදාළව ක්‍රියා කළ යුතු බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ කල්පවත්නා සාමයක් සඳහා පදනමක් ඇති කිරීමට වගවීමේ ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මීට පෙර ප්‍රකාශ කළ බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සිහිපත් කර සිටියි.

එහි ආසියා හා පැසිෆික් කලාපය භාර අධ්‍යක්ෂ සෑම් සරිෆි මහතා ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ නිල වෙබ්අඩවියට ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවූ බවට වන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව ප්‍රසිද්ධියට පත් කළ යුතු බවයි.

ශ්‍රි ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවදියක් සම්බන්ධයෙන් සම්පාදනය කර ඇති එම වාර්තාවේ කරුණු ශ්‍රි ලාංකිකයින්ට දැන ගැනීමට සැලැස්වීම අත්‍යවශ්‍ය බවද හෙතෙම අවධාරණය කර තිබේ.

යුද්ධයේ අවසන් කාල වකවානුව තුළ සිදුවූ බව පැවසෙන මානව හිමිකම් කඩවීම් හා මානුෂීය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට උපදෙස් දීම සදහා එම කමිටුව පත් කෙරුණේ 2010 වසරේ ජුනි මාසයේදීය.

එම කමිටුව විසින් සිය වාර්තාව ඊයේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා වෙත භාරදුන් අතර එහි පිටපතක් ශ්‍රී ලංකා රජය වෙතද එවීමට කටයුතු කරන බව මහ ලේකම්වරයාගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් පවසා තිබිණි.

ඉන්දුනිසියාවේ හිටපු නීතිපතිවරයකු වන මර්සුකි දරුස්මාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අමරිකානු සහ දකුණු අප්‍රිකානු නියෝජිතයින්ද ඇතුළත් වන එම කමිටුව පත්කිරීමට එරෙහිව ශ්‍රී ලංකාව නිල වශයෙන් සිය විරෝධය දක්වා තිබිණි.

එසේ වුවද එම කමිටුව මගින් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා හෝ මානව හිම්කම් කඩවීම් සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරීමක් සිදුනොකරන බවත්,ඒ සඳහා වන අධිකරණයම බලයක් එකී කමිටුවට නොමැති බවත්,එය හුදෙක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලබාගැනීම සඳහා පත්කරනු ලැබූ කමිටවුක් පමණක් බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පසුව ප්‍රකාශ කරන්නට යෙදුණි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More